එදා ඉතින් කොහොමහරි එච්චර වාසනාවක් තිබුන දවසක් නෙවේ. පට්ට අව්වත් එක්ක දුවිල්ලත් කකා එද්දී අත දෙන්න කව්රුත් හිටියෙත් නෑ. ගමනෙන් බාගයක් විතර ගියතැන අහුවෙන්නේ කන්දක්. පාර දෙපැත්තේම තියෙන්නේ පොඩි පොඩි ගෙවල්. එක ගෙයක් ඉස්සරහ වයසක අත්තම්මකෙනක් හිටගෙන පාර දිහා බලාගෙන ඉන්නවා මට දුර තියාම පෙනුන. එච්චර අමුතු දසුනක් නෙවෙ. මත ඉතින් ඉස්සරහට ගියා.
ළඟට ගියාම ඒ අත්තම්මා කට පුරාම ලොකු හිනාවක් දාලා මොකද්දෝ මට කිව්වා.
"ඈහ්හ්?" ඇහෙන්නේ නෑ.. Klaus Meine කන්දෙක අස්සේ රිංගලා කෑගහනවා.. බෑනේ කරන්න. මං ප්ලග් දෙකෙන් එකක් ගැලෙව්වා.
"මොකද්ද අත්තම්මේ කිව්වේ?"
"අනේ පුතේ පුතාට පුලුවන්ද මේ නූල දාලා දෙන්න?" අත්තම්මගේ අතේ දිග සුදු නුලක්. ඒක බිම දිගේත් ඇදිලා ගිහින්. දුඹුරු පාට වෙලා. මුලින්ම මම ඉන්දිකට්ටක් දැක්කේ නෑ. ඉතින් මට පොඩ්ඩක් අඤ්ඤකොරොස් වගේ..
"කොහෙටද නූල දාන්නේ?"
"මේන් මේකටනේ!" ඉදිකට්ට මගේ ඇහේ ඇනෙන ගානට ඇවිත් නතර උනා. මගේ නතරුන හුස්ම මං ශේප් එකේ දැම්ම පහලට..
"ආ.. කෝ දෙන්නකෝ.." බොහොම පරිස්සමෙන් කාටවත් හානියක් කරදරයක් නොවන අයුරින් මං ඒ අතිභයංකර ආයුදේයි නුලයි මගේ භාරෙට ගත්තා.
"පුතාට පුලුවන්ද දාන්නේ නෑ..."
අත්තම්ම මොනාද දන්නේ? මම ඉස්කෝලේ යනකාලේ හොදට PTS එහෙම කරලා තියෙන්නේ! කියන්න ගියේ නෑ. පැහැදිලි කරන්න වෙනවනේ...
ඉදිකට්ට අරන් බැලුව සිදුර දිහා.. කොහේ! ඒකෙ පෙන්න සිදුරක් නෑ. මේක ඉදිකට්ටක් නෙවේද කොයෙද..
අම්මටසිරි! සගා!!
කලබලේට ඒකත් ගලවාගෙන ගහගත්තා කලිසමේ සාක්කුවේ. නුලේ අග අරගෙන කටේ දාලා කෙළ ටිකක් ගාලා හදාගන්න ලෑස්තිඋනත් මොකෝ ඒ නුලේ හැටි දැක්කම මොකද්ද වගේ..
"අත්තම්මේ මේ නුලේ කුනුනේ.. වෙන හොඳ එකක් නැද්ද?"
"අනේ කමක් නෑ පුතේ. ඕක ඔය මගේ කැඩිච්චි බෑග්එකට මැහුමක් දාගන්නනේ. වැඩිය පෙන්නේ නෑ.."
"එහෙනම් ඉතින් කමක් නෑ.." මොනකරන්නද.. එකපාරින් කටේ දාලා ඇදලා ගත්තා.. ඊයා!!
දැන් ඉතින් ලොකුම ගේම.. ඕක දාන්නත් එපැයි. දෙතුන්පාරක්ම ට්‍රයි කලා.. කිව්වනේ අද වැඩිය වාසනාවන්ත දවසක් නෙවේ.. කෙළවෙන දවසක්..
"පුතීට බැරිනම් කමික් නී.. මං අර එහා ගෙදර මැණිකට කීලා දාගන්නම්."
"නී නී.... මැණිකට කියන්නි ඕනි නී.. මට පුළුවන්!"
ඒක කිව්වා විතරයි වැඩේ සරියටම පත්තු උණා. නූල ලස්සනට ගියා ඉදිකටුව ඇතුළෙන්. මත නිකන් මැජික්කාරය වගේ දිගට දිගට ඇදලා ඉදිකටුව නූල මැද්දටම සෙට් කරලා අත්තම්මගේ අතින් තිබ්බා.
"අනේ බෝම ඉස්තුතියි දරුවෝ. අදුරන්නේවත් නැති මට උදව් උනාට."
අත්තම්මට පුදුම විදියට සන්තෝසයි. ඒක දැකපු මටත් හෙනම සැටිස්. සරල මිනිස්සුන්ව සන්තෝස කරන්න වැඩියමක් කරන්න ඕනේ නෑ..
"අත්තම්මගේ ගෙදර කව්රුත් නැද්ද?" මං ඇහුවේ එකපාරටම යන්න මොකද්ද වගේ නිසා.
"පුතයි දුවයි දෙන්නම වැඩට ගිහින් දරුවෝ. පොඩි උන් දෙන්නත් ඉස්කොලෙනේ.. මම ඉතින් එයාලා එනකන් ආන් අර පුටුවේ වාඩිවෙලා බලන් ඉන්නවා." අත්තම්මා එහෙම කියල ආයිමත් කටපුරාම හිනාවුණා.
මම ඉතින් ආපහු මගේ ගමන එන්න පටන්ගත්තා. එක අතකට මේක හොඳ දවසක්. මගේ අවාසනාවකට බස් එකක් අහුවෙන්නේ නෑ කියල හිතන් හිටපු කාලේ එයින් පස්සෙ ඉවර උනා. අදටත් මම ඔය කිලෝමීටර් 1.5 යන්නේ හිතේ සතුටින්. උදේ, දවල්, රෑ.. ඔය මොන වෙලාවක උනත්..
කාවහරි සන්තෝස කරන්න මහලොකු දේවල් කරන්න ඕනි නෑ. හදවතින්ම කරන බොහොම පුංචි දෙයක් ඇති. ඒ වගේ දෙයක් කරන්න ඕන වෙලාවේ සෙට් වෙයිද කියන්නත්ක බෑ. හැබැයි වෙලාව ආවම පස්ස ගහන්නේ, කම්මැලි වෙන්නේ නැතුව එකට ඉදිරිපත් වෙන්න. ඒ දේ කරන්නේ අවංකවම හිතේ සතුටින්නම්, ඒකම ඇති දවස් ගානක් අපිව ජිවත් කරවන්න.

No comments:
Post a Comment